අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 1 අඟහරුවාදා - 18:39 GMT
ජීවිත තුනක් බිලි ගනිමින් සහ නිවාස හා ව්‍යාපාරික ස්ථාන එක සිය තිස් හතකට ආසන්න ප්‍රමාණයකට හානි සිදු කරමින් ජුනි පහළොස් වැනිදා අලුත්ගම සහ බේරුවල පැතිර ගිය කෝලාහලවලින් අනතුරුව ප්‍රදේශවාසීන් මේ වන විට යලිත් සිය සාමාන්‍ය දිවි පෙවෙත ගත කිරීමට උත්සාහ දරමින් සිටියි.
විනාශ වූ නිවාස යළි ඉදි කිරීමට මෙන්ම කෝලාහල හේතුවෙන් හට ගත් මානසික කම්පනයට පිළියම් යෙදීමටත් බලධාරීන් මෙන්ම ස්වේච්ඡා සේවකයන්ද කටයුතු කරති.
සාමකාමිව
මේ ප්‍රදේශ වල ජිවත් වන ජනතාවට අවශ්‍යව ඇත්තේ ගැටුම් වලින් තොරව සාමකාමිව ජිවත් වීමට බවයි බීබීසී වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න පවසන්නේ.
‘අපි කිසිවෙක් සමග මතභේදයක් තබන් හිටියේ නැහැ. පිටින් ආපු දෙපිරිසක් අතර මතභේද ගැටුම් ඇති වුනා. එයින් අන්ත අසරණ වුනේ අතරමැදිව සිටි අපියි.’ යයි අධිකාරිගොඩ ජිවත් වන ටෙල්කා ශ්‍රියානි පැවසුවාය.
මෝඩ මිනිස්සු
‘අද වන විට තත්වය සාමාන්‍ය අතට හැරිලා තියනවා, නමුත් මොනවා වෙයිද කියල කියන්න බැහැ. මොකද මෝඩ මිනිස්සු ඉන්නවනේ.” යයි පවසන මොහොමඩ් නයීම් තමාට රුපියල් කෝටියකට ආසන්න දේපළ අලාභ හානි සිදු වී ඇති බව කියා සිටියි.
විනාශ වූ අලුත්ගම ගොඩනැගීම සඳහා මේ වන විට අලුත්ගම සංවර්ධන පදනම බිහි වී තිබේ .
එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන සාදීක් හුසේන් ප්‍රකාශ කරන්නේ සිදු වූ දේ පිළිබඳ කතා කිරීම පසෙකලා නැවත ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජිවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කල යුතු බවයි. ප්‍රදේශය යථා තත්වයට පත් වීමට මාසයක් පමණ ගත විය හැකි බව සාදීක් හුසේන්ගේ අදහසයි.
කුපිත
දේශපාලනික උවමනාවන් මත සහ සමාජ කොටස් වල අවශ්‍යතාවයන් මත ජනතාව කුපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලුත්ගම සිදුවීම හැදින්විය හැකි බව එම ප්‍රදේශයේ සංචාරය කළ දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ශඛාවේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර පවසයි.
මේ තත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ හැරියොත් එය දිගු කාලීන සහජීවනය ගොඩ නැංවීමට බාධාවක් බවයි ලක්ෂ්මන් ගුණසේකර වැඩි දුරටත් කියා සිටින්නේ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140701_aluthgama_sinhalese_muslim.shtml
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 1 අඟහරුවාදා - 16:54 GMT
ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය
භික්ෂූන් වහන්සේ නමකට කළ පහර දීමකට ප්‍රතිචාර වශයෙන් අලුත්ගම ගැටුම ඇතිවූ බව මාධ්‍ය තුලින් පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් එය එසේ නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
අලුත්ගම සිද්ධීන් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් මුහුණ දුන් ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවිධාන 11ක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේ.
‘මාධ්‍යයට කිව්වේ දර්ගා නගරයේ සිද්දියට කව්ද ආවේ කියලා කියන්න එපා කියලා, අලුත්ගම රැස්වීම කලෙත්, දර්ගා නගරයට ගියෙත් ප්‍රදේශයේ අය නෙවෙයි, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා නෙවෙයි, බොදු බලසේනාව ආණ්ඩුවේ සහයෝගය ඇතුව එතනට යැව්වා’ රනිල් වික්‍රමසිංහ පවසයි.
අලුත්ගම සිදුවීම වර්තා කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට වාරණ පැන වුයේ මෙම ප්‍රහාරයට සම්බන්ධ බොදු බල සේනා සංවිධානය හා ආණ්ඩුවේ කොටස් ආරක්ෂා කිරීම සඳහා බවයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ.
අලුත්ගම සිදුවීමේ දී මධ්‍ය වරණයක් රජය පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජාතික හෙළ උරුමයද ආණ්ඩුව විවේචනය කළ නමුත් රජය කිසිදු මාධ්‍ය වාරණයක් අලුත්ගම සිද්ධියට නොපැනවූ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ට්විට්ටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
‘නිල නොලත් මාධ්‍ය වාරණය නිසා ඇත්ත හෙළි වුණේ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා, ඇත්ත හෙළි නොකරපු නිසා මේක කළේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් කියලා කිව්වා, ඒ ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසම මට කිව්වේ මේක පිටින් ආපු අය කළ දෙයක් කියලා’ රනිල් වික්‍රමසිංහ පැවසීය.
‘රැස්වීමට ගිහින් කතා කලේ බුද්ධාගම ගැන නෙවෙයි, කුණු හරප ගැන, එතනින් තමයි මේක පත්තුවුනේ’ විපක්ෂනායකවරයා තවදුරටත් කියා සිටියේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140701_ranil_media_aluthgama_video.shtml