2016 අප්‍රේල් 30 08.11 a.m
(ලසන්ත වීරකුලසූරිය)
කිරුළපන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුරයන් අත්හිටුවීමටත් සෙසු අය සම්බන්ධයෙන් ඉන් එහා ගිය පියවර ගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැලියට සාධාරණ හේතු නොදක්වා පැමිණ නැති අය සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරුන් රැසකගේ ආසන සංවිධායක ධුර අහිමි කර තිබේ.
ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියෙන් පසු දින එනම් මැයි 02 වැනිදා පෙරවරුවේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
කිරුළපන රැලියට සහභාගි වන අය සම්බන්ධයෙන් විනය පියවර නොගතහොත් පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇතැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇත.
මැයි දිනයෙන් පසු ශ්‍රීලනිප දේශපාලනයේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි. එය එසේම සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විනය පියවර ගැනීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ කොට නොසලකා තීරණයක් ගනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=50370:2016-04-29-17-06-29&catid=64:2012-09-10-14-02-45&Itemid=87