Thursday, April 25, 2024
   
Text Size

මනුෂ්‍ය ඝාතනයක් සහ කලහයක් මුල්කොට නුවරට ‍ඇදිරිනීති

User Rating: / 1
PoorBest 

මනුෂ්‍ය ඝාතනයක් සහ කලහයක් මුල්කොට නුවරට ‍ඇදිරිනීතිය

මැද මහනුවර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් මුල්කොට ගත් කලහකාරී සිදුවීම් කිහිපයකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා හෙට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ.

මැදමහනුවර අම්බාලේ පදිංචි දෙදරු පියෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ගම්මාන කිහිපයක පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් අද (05) මහනුවර මහියංගණය මාර්ගය තෙල්දෙණිය නගරයෙන් අවහිර කොට විරෝධය පළ කළහ.

වෘත්තියෙන් ලොරි රථ රියදුරෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් තෙල්දෙණිය ප්‍රදේශයේදී පොලුවලින් හා පුටුවකින් පහරදී තිබේ. තුවාල ලත් රියදුරු හා රිය සහායකවරයා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර රියදුරු ඉකුත් 02 වන දින මරණයට පත්ව ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම්.ජී.කුමාරසිංහ නම් හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබුණි.

ඔහුගේ මළ සිරුර අම්බාලේ ග්‍රාමයට රැගෙන යන අවස්ථාවේදී මරණයට විරෝධය පළ කරමින් ගම්වාසීන් තෙල්දෙණිය උඩිස්පත්තුව මාර්ගයේ උඩිස්පත්තුවට හැරෙන ස්ථානයේ සිට ඉකුත් 02 දා මධ්‍යම රාත්‍රීය දක්වා විරෝධය පළ කළහ. මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිර වී තිබුණි.

මෙම අර්බුදය ජාතිවාදී ගැටුමක් කරා පත් නොකරන ලෙස ගම්වාසීන්ට දැනුම් දී තිබුණ නමුත් පොලීසිය නිසි ක්‍රියාත්මක වීමක් නොමැති වූ බව ගම්වාසීහු කීහ. මේ හේතුවෙන් මේ වන විට උඩිස්පත්තුව, මොරගහමුල වෙළද සැල් කිහිපයකට පහරදීම් සිදුව තිබේ. කෙන්ගල්ල ප්‍රදේශයේ වෙළද සැලක් වෙත පෙට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති නමුත් එය පුපුරා යාමක් සිදුවී නොමැති අතර කලහකාරී ලෙස හැසිරිම සම්බන්ධයෙන් පුද්ගලයන් 24 දෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර සිද්ධිය සමනය කිරීම සඳහා දහසක පමණ පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් තෙල්දෙණිය හා ඒ අවට ස්ථාන රැසක ස්ථානගත කොට තිබුණි.




නදීක දයා බණ්ඩාර - මහනුවර

 

https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9682-%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7-%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7-%E2%80%8D%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA

Login Form