Thursday, April 25, 2024
   
Text Size

තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට

User Rating: / 1
PoorBest 

තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට


(වාර්තා සැපයීම :   චමල් රූපසිංහ, ඉන්දිකා රාමනායක, ජේ.ඒ.එල්. ජයසිංහ සහ   ඒ.ජී. වික‍්‍රමසිංහ )

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද දහවල් සිට හෙට (6) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින් රථවාහන  ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුනු අතර ඔහුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර ඇඳිරි නීතිය පැනවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද කීය.

‘ඉකුත් පෙබරවාරි මස 22 වැනිදා තෙල්දෙණිය නරගයේ දී ලොරි රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී ත‍්‍රිරොද රථයේ පැති කන්නාඩියක් බිඳීමේ සිද්ධියක් මුල්කරගෙන සිවු දෙනකුගෙන් සමන්විත පිරිසක් ලොරි රථයේ රියැදුරු වන අම්බාලේ පුවක්ගස් හන්දියේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියකු වන එච්.ජී. කුමාරසිංහ නමැත්තාට පහර දී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ කුමාරසිංහ නමැත්තා මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 3 වැනිදා අලූයම මියගොස් තිබෙනවා.’

මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සැකකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර තිබිය දී සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

පොලිස් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කැඳවා තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව තර කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර අද පස්වරුවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබිය දී පස්වරු 2.00ට පමණ සංවිධානාත්මක පිරිසක් දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටිය දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර පිරිස විසුරුවා හැරිය බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

සංවිධානාත්මක පිරිස දිගන නගරයේ තැනින් තැන එක් රොක්වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවත් ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට ඇදිරිනීතිය පැනවීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 24 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා පිරිසක් අද දහවල් තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවක යෙදී සිටි අතර, ඔවුන් මාර්ගයේ ටයර් පුළුස්සමින් පොලිසියට විරෝධය දක්වා නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරිය බව පොලිසිය කියයි.

ලොරියේ රියැදුරුගේ මරණය පිළිබඳ විරෝධය පළ කරමින් දිගන, මැණික්හින්න, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර සහ කෙන්ගල්ල යන ප‍්‍රදේශවල කඩසාප්පු වසා සුදු කොඩි ඔසවා තිබිණි.

මහනුවර දිගන හරහා මහියංගනය මාර්ගයේ බස් ඇතුළු වාහන ගමනාගමනය ද අද දිනයේ ඇනහිට තිබිණි.

මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන දිගන නගරයේ විරෝධතාවක නිරතවීමට පිරිසක් උත්සාහ ගෙන තිබූ අතර, ඒ බව සැලවීමත් සමග පොලිසිය ඒ පිළිබඳව තෙල්දෙණිය අධිකරණයට කරුණු වාර්තා කොට එම විරෝධතාව වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. මේ අතර මියගිය තැනැත්තාගේ දේහය භූමදාන කිරීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද පස්වරු 3.00 ට පමණ අම්බාලේ සුසාන භූමියේ දී සිදු කෙරිණි.

කලහකාරී පිරිස එල්ල කළ ප‍්‍රහාරවලින් තෙල්දෙණිය දිගන, උඩිස්පත්තුව, මොරගහමුල ආදී ප‍්‍රදේශවල කඩසාප්පු කීපයකට අලාභහානි සිදුවී තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයන් කීපදෙනකු රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් දේපළවලට පහරදුන් පුද්ගලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. තෙල්දෙණිය සහ දිගන ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂාවට අද සවස් වනවිට පොලිසියේ විශේෂකාර්ය බළකායේ සහ යුද හමුදාවේ 500කට අධික පිරිසක් යොදවා තිබිණි.

 

 

http://www.lankadeepa.lk/top_story/%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-24-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/10-525145

Login Form