Friday, April 19, 2024
   
Text Size

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

User Rating: / 2
PoorBest 

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා: සැකකරුවන් අසූඑක් දෙනෙක් අත්අඩංගුවේ

මහසෙන් බලකාය

මහනුවර හටගත් ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මහනුවර ප්‍රදේශයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ද ඒ අතර සිටින බව ශ්‍රී ලංකා පොලිසිය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විරෝධී සංවිධාන සඳහා දැඩි මතධාරී ඇතැම් බෞද්ධ භික්ෂුන්ගේ ද සහාය ලැබෙන අතර ඒ සඳහා නායකත්වය දෙනු ලබන තරුණයන් අතර අමිත් වීරසිංහ ද වෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණ සඳහා අමිත් වීරසිංහ නායකත්වය ලබා දෙන ආකාරය රූප දර්ශන ඔස්සේ දැකගත හැක.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් නව දෙනෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන අත්අඩංගුවට ගනු ලැබූ බවය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගී වූ බවට සැක කෙරෙන සෙසු පුද්ගලයන් 71 දෙනා මහනුවර දිස්ත්‍රික්කයට අයත් විවිධ පොලිස් ස්ථාන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තෙල්දෙණිය

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් සහ බෞද්ධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

ගිනිබත් කෙරුණු නිවසක් තුළ තිබී 24 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය, බෞද්ධ තරුණයෙක් ඔහු ළඟ තබා ගත් අත්බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

තවත් එකොළොස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්ඩකාරී ක්‍රියා හට ගැනුණේ දෙදරු පියෙකු වූ එම්.ජී කුමාරසිංහ නැමැත්තෙකුට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වීමත් සමගය.

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය දහඅටක කාලය තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව බ්‍රහස්පතින්දා (මාර්තු 08) උදෑසන දහයේ පටන් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක කරුණු මත බ්‍රහස්පතින්දා සවස 06.00 සිට සිකුරාදා උදෑසන 06.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

http://www.bbc.com/sinhala/sri-lanka-43333317

Login Form