-
3 නොවැම්බර් 2014
අලුත්ගම මුස්ලිම් පාපන්දු ක්‍රීඩාලෝලීන් කණ්ඩායමක් සහ තවත් කණ්ඩායමක් අතර පසුගිය සෙනසුරාදා සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තරුණයන් අද,සඳුදා ඇප මත මුදා හරිනු ලැබුණි.
එම තරුණයන් සමථ මණ්ඩලයකට යොමු කොට සාමකාමීව මුදා හැරීමට ඉඩකඩ තිබිය දී ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ උවමනාව අනුව අලුත්ගම පොලිසිය චූදිතයන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ද අනවශ්‍ය ආකාරයට සූදානම් කර තිබුණ බවයි, විත්තියේ නීතිඥ ශිරාෂ් නූර්දීන් බීබීසියට කියා සිටියේ.
‘තරුණයන්ට එරෙහි සියලු චෝදනා ඇප දිය හැකි ඒවා මෙන්ම සමථ මණ්ඩලයක් ඉදිරියට යොමු කළ හැකි ඒවා. මේ දෙපිරිස එකම ගමේ වැසියන්. ඔවුන් එකිනෙකා අඳුනනවා. එවැනි තත්වයක් යටතේ පෙරෙට්ටුවක් තබා ඔවුන් බන්ධනාගාර ගත කරනු ලැබීම අනවශ්‍ය පියවරක් වන බව මගේ තක්සේරුවයි’ නීතිඥ ශිරාෂ් නූර්දීන් කියා සිටියි.
සියලු චූදිතයන් මුස්ලිම්
සෙනසුරාදා ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සියලු දෙනා ම මුස්ලිම් තරුණයන් වන අතර තුවාල ලද මුස්ලිම් කාන්තාවක් සහ තරුණයෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් නීතිඥ ශිරාෂ් නූර්දීන් පවසයි.
මේ තත්වය යටතේ පොලිසිය හැම ජන කොටසකටම නීතිය පොදුවේ ක්‍රියාත්මක කරන තත්වයක් දක්නට නොමැති බවත් නීතිවේදියා පෙන්වා දෙයි.
යුද හමුදාවේ සහයෝගය
අලුත්ගම පසුගිය කාලයේ ඇති වූ අමිහිරි අත්දැකීම් යළි ඇතිවීම වළක්වා ලීමට යුද හමුදාව කඩිනමින් පියවර ගත් බව කියා සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් අලුත්ගම පොලිසියෙන් එවැනි සහයෝගයක් නොලැබීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි.
‘මෙය පළමු අවස්ථාව නොවෙයි. අලුත්ගම පොලිසිය මින් පෙරත් මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම අලුත්ගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පහක් ගොනු කරලා තියෙනවා’ ඔහු වැඩිදුරටත් පවසයි.
නීතිය එක් එක් පාර්ශවයට එක් එක් ආකාරයට ක්‍රියාවට නංවනු ලැබීම රටේ සාමයට සංහිඳියාවට හානිකර බවයි නීතිඥ ශිරාෂ් නූර්දීන් පෙන්වා දෙන්නේ.
පොලිසියේ ප්‍රතිචාරය
නීතිවේදී ශිරාෂ් නූර්දීන් ඉදිරිපත් කරන චෝදනා බැහැර කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, අලුත්ගම දී පහර දීමක් සිදු වී ඇති අතර එම තත්වය යටතේ යම්කිසි ජාතියක් අනුව නොව පහර දීමක් සිදු කළ බවට චෝදනා එල්ල වෙන තරුණයන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවයි කියා සිටියේ.
නීතිවේදියා පවසන ආකාරයට චූදිතයන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීමේ සැලැස්මක් නොවූ බව කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, මේ ගැටුමේ දී පොලිසිය කටයුතු කර ඇත්තේ අපරාධ නඩුවක දී ක්‍රියා කරන ආකාරයට නොව රටේ ජනතාව සහජීවනයෙන් කටයුතු කළ යුතුය යන ආකල්පය යටතේ බවයි සඳහන් කළේ.