Wednesday, August 21, 2019
   
Text Size

ආපහු අපට යුද්ධයක් එපා: අපි ඒකට කැමති නෑ

User Rating: / 1
PoorBest 

23_PAGE_14_M

 

 

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන චරිතයක් වන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මෙවර මුහුණට මුහුණ හමුවේ.

 

5

● ඔබේ ෆෙඩරල් කතාව සමාජයේ දැඩි විවාදයට ලක්වෙලා. කොටි සංවිධානයේ සටනත් ඔබ සාධාරණීකරණය කරනවා?
රටේ ජනතාව ඔක්කොම ඇත්ත දැනගන්න ඕන. සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් හැම දෙනාම ඇත්ත දැනගන්න ඕන. යුද්ධය හේතුවක් නැතුව පටන් ගත්තේ නෑනේ. ඒකට හේතුවක් තිබුණා. දෙමළ ජනතාව බලෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නෑ.දෙමළ ජනතාවට කීප සැරයක්ම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි මේ ප්‍රශ්නය සාමයෙන් විසඳගන්න උත්සාහ කළා. බණ්ඩාරනායක අගමැතිතුමා අපේ නායක චෙල්වනායගම් සමග 1957 එකඟතාවයකට ආවා. ඒකත් එක්ක අපි හිතුවා මේ ප්‍රශ්නය ඉවරවෙයි කියලා. ඒත් ඒ ගිවිසුම හරියට ක්‍රියාත්මක කරන්න බැරිවුණා. 1965 ඩඞ්ලි සේනානායක අගමැතිතුමා අපේ චෙල්වනායගම් මහත්තයා එක්ක එකඟතාවයකට ආවා. ඒකත් හරි ගියේ නෑ. එදා ඉඳලා ගත්තු උත්සාහයන් කීපයක්ම හරි ගියේ නෑ. දිගටම දෙමළ ජනතාවට හිරිහැර සිද්ධ වුණා.


මේ දේවල් උත්සන්න වෙලා තමයි යුද්ධය පටන් ගත්තේ. අපේ මිනිස්සු ගුටි කාගෙන හිටියා කාලයක්. යුද්ධය පටන් ගත්ත කාරණාවත් තිබුණා. සමගියෙන් කටයුතු කරන්න හදපු අවස්ථාවල එහෙම කළා නම් යුද්ධයක් පටන් ගන්නේ නෑ.


ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම මම කිව්වා මීට පස්සේ අපට “වයලන්ස්” එපා කියලා. යුද්ධයත් කළා. ඒක දැන් ඉවරයි. ආපහු අපට යුද්ධයක් එපා කියලා මම පැහැදිළිවම කිව්වා. ඒ ටික මාධ්‍යවල ගියේ නෑ. මම කියපු දෙයින් කෑල්ලයි හයිලයිට් වුණේ. ඒක නිසා තමයි මිනිස්සු මගේ කතාවට කලබල වෙලා තියෙන්නේ. එල්ටීටීඊ එක යම් හේතුවක් උඩ පටන් ගත්තත් ඒ අය වැරදි වැඩ ගොඩක් කළා. ඒක නිසා තමයි එයාලා පරාජය වුණෙත්. ඒ අය මානව හිමිකම්වලට ගරු කළේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේ නෑ. මම ඒකත් පැහැදිලිවම කියනවා. මම කියන්නේ ආපහු අපට යුද්ධයක් එපා. අපි ඒකට කැමැති නෑ. දැන් අපිට ඕන සාමයෙන් සමගියෙන් එකඟතාවයෙන් වැඩ කරන්න.

 


● ෆෙඩරල්වලින් මෙහා සතුටක් නැද්ද ඔබලට?
අපිට ෆෙඩරල්ම ඕන කියලා අපි කියන්නේ නෑ. ලෝකයේ ගොඩක් රටවල්වල ෆෙඩරල් ක්‍රමය තියෙනවා. ෆෙඩරල් ක්‍රමය නිසා විවිධ භාෂා කතා කරන අය එකට එකතුවෙලා ජීවත් වන රටවල් තියෙනවා. ඒ රටවල්වල කිසිම ප්‍රශ්නයක් නෑ. නයිජීරියාව, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඕස්ටේ්‍රලියාවෙ, ඉන්දියාවෙ වගේ  රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ. ඒක නිසා අපිත් මේකට කැමතියි. ඒත් අපි බලහත්කාරයෙන් ෆෙඩරල් ඉල්ලන්නේ නෑ. අපි කවුරුත් සාකච්ඡා කරලා එකඟතාවයෙන් තමයි මේක ගන්න ඕන. දෙමළ ජනතාවත් එහෙම දේකට කැමැතියි. බණ්ඩාරනායක මහත්තය පිටරට ඉඳලා ලංකාවට ආවට පස්සේ එයා කිව්වා මේ රටට හොඳ ෆෙඩරල් කියලා. එයා ඒ කාලේ තිබුණු “මෝර්නින් ලීඩර්” කියන පත්තරේට ආටිකල් හයක් ලිව්වා මේ රටට ගැලපෙන්නේ ෆෙඩරල් ක්‍රමය  කියලා. අපිට කලින් බණ්ඩාරනායක මහත්තයා මේක කිව්වේ. ඩොනමෝර් කොමිෂන් එක මෙහේ ආපු වෙලාවෙ උඩරට නායකයො ගිහිල්ලා කිව්වා මේ රටට ෆෙඩරල් ක්‍රමයක් ඕන කියලා. ඒ 1929දී විතර. එතකොට අපි ෆෙඩරල් ගැන හිතලවත් නෑ. මේ අයත් රට බෙදන අදහසින් නොවෙයි ෆෙඩරල් ක්‍රමයත් ඉල්ලුවේ.

 


● ඔබේ මේ ප්‍රකාශය නිසා කලබලයට පත්වුණ අය කියන්නේ ප්‍රභාකරන්ගෙයි ඔබෙයි වෙනසක් නෑ කියලා?
එහෙම කියන එක වැරදියි. අපි දෙන්නා අතරෙ හුඟක් වෙනස්කම් තියෙනවා. මම යුද්ධයක් ගැන කතා කරන්නේ නෑ. මම කියන්නේ හැම දෙනාගෙම එකඟතාවය මත සිද්ධ වෙන්න ඕන දෙයක් ගැන. මම කවදාවත් රට කඩන්න රට බෙදන්න යෝජනා කරන්නේ නෑ. විනාසයකින් තොරව සිද්ධ විය යුතු දෙයක් ගැනයි මම කියන්නේ. එකිනෙකාට ගෞරව කරන සමාජයක් අපට ඕන. හැම දෙනාගෙම අයිතිවාසිකම්වලට අපි ගෞරව කරන්න ඕන.

 


● ඔබ විපක්ෂනායකකමෙනුත් අයින් විය  යුතුයි කියලා තවත් සමහරු කියනවා?
ඒක මගේ පක්ෂයට අයිති දෙයක්. විපක්ෂ නායකකම මම බලෙන් අරගත්තු දෙයක් නොවෙයි. අපට පාර්ලිමේන්තුවේ තියෙන ෂීට් ගානට අනුව තමයි විපක්ෂනායකකම ලැබුණේ. ඒක අපට අයිති දෙයක්. ඒකට කාටවත් ඇඟිල්ල දික්කරන්න බෑ. මමයි පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් විපක්ෂෙ ඉන්න කෙනා. මම කවදාවත් ආණ්ඩුවලට එකතු වෙලා නෑ. ඒක නිසා මගේ විපක්ෂනායකකම ගැන කවුරුවත් කලබල වෙන්න ඕනකමක් නෑ. සිංහල ජනතාවත් හාමුදුරුවරුනුත් අනිත් අයත් මේ ඇත්ත දැනගන්න ඕන.

 


● මේ ආණ්ඩුවෙන් ෆෙඩරල් ලබාගන්න පුළුවන් හින්දා මේ ආණ්ඩුව වෙනස් කරන්න යන්න එපා කියලා ඔබ කියල තිබුණා?
එහෙම කතාවක් මම කිව්වේ නෑ.

 


● එහෙම කතාවක් ඔබ කිව්වා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා?
ඒක වැරදි ප්‍රවෘත්තියක්. මම ඒ වගේ දෙයක් කිව්වේ නෑ. මේ ආණ්ඩුව පෙරළන්න එපා කියලා මම කිව්වේ නෑ. මේ ආණ්ඩුව මේ ප්‍රශ්නයට විසඳුමක් ගේන්න පුළුවන් කියන විදියට හැසිරෙනවා. ඒක අපට විස්වාසයි කියලයි මම කිව්වේ.

 


● ඔබට මේ ආණ්ඩුවෙන් වැඩිපුර විශ්වාස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිද රනිල් වික්‍රමසිංහ අගමැතිද?
ඇයි ඔබ ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්නේ. රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එයා තමයි රටට වෙනස්කමක් ගෙනාවෙ. එයා තමයි දැන් රටේ පළවෙනි නායකයා. ඒක අපි පිළිගන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරපු නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ. මේ දෙගොල්ලොම එකතුවෙලා රටේ ප්‍රශ්නවලට විසඳුම් ගේන්න ඕන කියලා තමයි අපි කියන්නේ.

 


● විපක්ෂ නායකයා වුණාට ඔබ ආණ්ඩුව වර්ණනා කරන එකනේ කරන්නේ?
නෑ, අපි විපක්ෂයෙ රාජකාරිය කරනවා. පහුගිය බජට් එක ගෙනාපු වෙලාවෙ අපි ඒක විවේචනය කළා. අපි “කරප්ශන්” ගැන කතා කරනවා. අපි ආණ්ඩුව සුද්ද කරන්නේ නෑ. අපි අපේ ප්‍රශ්න ගැන විතරක් නොවෙයි කතා කරන්නේ. මේක අපේ රට. මේ රට මටත් අයිතියි. මම මේ රටට අයිති පුද්ගලයෙක්. ඒ හැඟීම මට තියෙනවා. දිනේෂ් ගුණවර්ධනලා ඔච්චර පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. එයාලා උතුරේ ප්‍රශ්න ගැන කතා කරනවද? උතුර කියන්නෙත් මේ රටේ කොටසක්.

 


● විපක්ෂනායකයා විදියට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක එක්ක කොහොමද ගනුදෙනුව?
මමයි ඒක එයාට දුන්නේ. ඕන නම් අපේ පක්ෂයේ කෙනෙකුට ම ඒක දෙන්න තිබුණා. අපිට විපක්ෂ නායකකම හම්බවෙච්ච නිසා විපක්ෂය නියෝජනය කරන තවත් පක්ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ලැබෙන්න ඕන කියල අපිත් හිතුවා. එයාලත් ඒක බාරගත්තා. අපි හොඳ සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ මගේ විපක්ෂ නායක කාර්යාලයේ අනුරටත් වෙනම කාමරයක් තියෙනවා.

 


● උතුර ගැන උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් එහෙමත් විවිධ කතා කියනවා. ඔබලා අතරේ මේ ගැන විවාදයක් තියෙනවද?
විග්නේෂ්වරන්ට ඕන දෙයක් කියන්න අයිතියක් එයාට තියෙනවා. විග්නේෂ්වරනුත් රට බෙදන්න කියලා ඉල්ලන්නේ නෑ. එයාත් යුද්ධයත් පටන් ගන්න කියලා කියන්නේ නෑ. එයත් රට කැඩෙන්න කතා කරන්නේ නෑ. අපේ කතාවල එක එක මට්ටම් තියෙනවා. මම කියන කතාවට සමාන නෑ විග්නේෂ්වරන් කියන එකට. දැන් ජනාධිපතිතුමා කියන කතාවට වඩා අගමැතිතුමා කියන දේවල්වල වෙනස්කම් තියෙනවනේ. ඉදිරියේ අපේ මේ කතා හැම එකක්ම සලකලා හොඳ තීරණයකට එන්න පුළුවන් වෙයි.

 


● සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඒ ඔබේ කතාවට විරුද්ධයි වගේ?
එයා ගිය සැරේ මන්ත්‍රීතුමෙක් වෙලා හිටියා. මේ සැරේ එයාට පාර්ලිමේන්තුවට එන්නත් බැරි වුණා. එයාටත් ඕන දෙයක් කියන්න ඕන මතයක් දරන්න අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඒක නවත්වන්නත් බෑ. මේ හැම කතා ගැනම අන්තිමට ජනතාව තීන්දුවක් ගනීවි.

 


● ඔබ සුරේෂ් ප්‍රේමචන්ද්‍රට කිව්වද යාපනේදී ටී.එන්.ඒ. එක විවේචනය කරන්න එපා කියලා?
නෑ, මම එහෙම දෙයක් එයාගෙන් ඉල්ලුවෙ නෑ. මම කිව්වෙ අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරමු කියලා. අපි එක අදහසකට එමු කියලයි මම කිව්වෙ. මම කවදාවත් කිව්වෙ නෑ එයාට අරක කියන්න එපා මේක කියන්න එපා කියලා. මට එහෙම කියන්න බෑනේ.

 


● උතුරේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට ඔබලා උත්තර හොයනවද ඇත්තටම?
ඇයි නැත්තේ. හුඟක් දේවල් ගැන අපි බලනවා. තව විසඳගන්න හුඟක් දේවල් තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ යම් යම් පියවර ගත්තා. අපි ඒවට සහයෝගය දෙනවා. අපිත් ආණ්ඩුවට මේ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරනවා. යුද්දෙ ඉවර වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ උතුරේ ප්‍රශ්නවලට කිසිම දෙයක් කළේ නෑ. මම යුද්දෙ ඉවර වුණාට පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ක උතුරේ සංචාරය කරලා අවශ්‍ය දේවල් හොයලා බැලුවා. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂගෙන් මම ඉල්ලුවා උතුරේ ගෙවල් හදන්න ඉක්මන් පියවරක් ගන්න කියලා. එයා මගෙන් ඇහුවෙ “කොහේ තියෙන සල්ලිද මට ඔය ගෙවල් හදන්න” කියලා. පස්සෙ අපි ඉන්දියාවෙ ගිය වෙලාවක මන්මෝහන්සිං අගමැති තුමා එක්ක කතා කරලා ගෙවල් පනස් දාහක් හදලා දුන්නා.

 


● ඔබ උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්ක නිතර කතාබහ කරනවද?
ඔව්, අපි ඒ ගැන කතා කරනවා.

 


● පහුගිය දවස්වල රටේ තැනින් තැන බෝම්බ එහෙම අහුවෙනවා අපි දැක්කා. මේ සංඥාව මොකක්ද?
අපි නැවත නැවතත් කියන්නේ කිසිම මනුස්සයෙකුට ආපහු       “වයලන්ස්” එපා කියලා. කවුරුවත් ඒකට කැමැති නෑ. උතුරු නැගෙනහිර කවුරුවත් ආපහු “වයලන්ස්” පටන් ගන්න උත්සාහයක් ගන්නවා කියලා අපි හිතන්නෙ නෑ. තැන තැන තියෙන ආයුධ වරින් වර හම්බ වෙනවා. තවත් හම්බවෙයි. මීට කලිනුත් හම්බ වුණා. ආයුධ කොච්චර පාවිච්චි වෙච්ච රටක්ද මේක. මිනිස්සු මැරුණට ආයුද ඉතුරු වුණා. යුද්දෙන් පස්සෙ තැන තැන තියෙන ආයුධ හම්බවෙන එක සාමාන්‍ය දෙයක්. මේ හම්බවෙන ආයුධ ගැන දැන් එළියට නිව්ස් එක යනවා. සමහරු ඒක තියෙනවටත් වඩා ලොකු කරනවා.

 


● ඔබට මේ ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් තියෙන පාටයි. එහෙම නම් පුළුවන් නේ ඇමැතිකම් අරගෙන උතුරට වැඩ කරන්න.
මේ දැන් ඇතිවෙලා තියෙන සංවාදය ඉවර වුණාට පස්සේ එවැනි තීරණයකට එන්නත් පුළුවන්.

 


● ඒ කියන්නේ ඉස්සරහට ඇමැතිකම් ගන්නවා?
හොඳ තීන්දුවක් ආවොත් රට වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න අපි සූදානම්. අද වෙනතුරු නම් මම ඇමැතිකම් අරගෙන නෑ. කීප වතාවක් මගෙන් ඉල්ලුවා ඇමැතිකම් ගන්න කියලා. ඒ කිසි වෙලාවක මම ඇමැතිකම් ගත්තේ නෑ. හැබැයි මේ ප්‍රශ්නයට තීන්දුවක් ගෙනාවට පස්සෙ ඔක්කොම දෙනා එකතුවෙලා රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි.

 


● ඔබෙන් පස්සෙ ටී.එන්.ඒ. එකේ නායකයා කවුද?
ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම තනියම තීරණය කරන දෙයක් නෙවෙයි. පක්ෂය ඒක අවශ්‍ය වෙලාවට තීන්දු කරයි. ඒ ගැන මම කතා කරන්න කැමැති නෑ.

 


● සුමන්තිරන්ට ඒක දෙනවද?
ඒ ගැන දැන්ම මට මොකුත් කියන්න බෑ. පක්ෂය ඒ ගැන හොඳ තීරණයක් ගනීවි. ඇයි ඔබ ඒ ප්‍රශ්නය දිගින් දිගට මගෙන් අහන්නේ?

 


● ඊළඟ නායකත්වය ගැන ඔබට අදහසක් තියෙන්න ඕනනේ.
ඒ සම්බන්ධයෙන් මට අදහසක් තියෙන්න පුළුවන්. ඒත් මට ඒ ගැන දැන් කතා කරන්න බෑ.

 


● උතුරේ දේශපාලනය කණ්ඩායම් කීපයකට බෙදිලා ඩග්ලස් දේවානන්දලා එක පැත්තක ඉන්නවා. මේ බෙදිල්ල නිසා උතුරේ සාමාන්‍ය ජනතාවට හරිහමන් සහනයක් ලැබෙනවද?
ඩග්ලස් දේවානන්දලා බොහොම පොඩි කට්ටියක්. ඒ පක්ෂයත් බොහොම පොඩියි. උතුරේ ජනතාව වැඩිපුරම ඉන්නේ අපිත් එක්ක. උතුරෙ ජනතාව විශ්වාසය තියලා තියෙන්නේ අපේ පක්ෂය ගැන. අපි තමයි උතුරේ ජනතාවට “ගයිඞ්” කරන්නේ. උතුරේ ජනතාවත් ඉදිරියටත් අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා අපි ඒ ජනතාවට අවශ්‍ය සියලු දේවල් ලබාදෙනවා.

 


● සාම්පූර්වලට යෝජිත බලාගාරයට ඔබලා විරුද්ධයි නේද?
මෙච්චර කල් ඒ ගැන අපට ප්‍රශ්නයක් තිබුණෙ නෑ. හැබැයි දැන් මිනිස්සු කියනවා ඒකෙන් යම් යම් ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒ ගැන දැන් අපි හොයා බලනවා. මේ ගැන ආණ්ඩුව එක්ක අපි සාකච්ඡා කරලා හොඳ විසඳුමකට එන්න ඕන. අපිට විදුලි බලයත් ඕන. හැබැයි මිනිස්සුන්ට ඒකෙන් අහිතකර ප්‍රතිඵල ලැබෙනව නම් ඒ ගැනත් හිතන්න ඕන. මොකද මේ මිනිස්සු කාලයක් තිස්සේ හොඳටම කරදරවලට මුහුණදීපු පිරිසක්.

 


● ටී. එන්. ඒ. එක හැම තිස්සෙම හිතන්නේ උතුර ගැන විතරමද?
නෑ, අපි මුළු රට ගැනම හිතනවා. අපේ පක්ෂයේ මෙම්බර්ස්ලා එන්නේ උතුරු නැගෙනහිරෙන් විතරයිනේ. ඒක නිසා උතුරු නැගෙනහිර ගැන අපි හිතන්න ඕන. ඒත් අපි හිතන්නේ මේක අපේ රට විදියට. උතුර හෝ නැගෙනහිර විතරක් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න ඕන රටක් විදියට. මම කියන්නේ උතුර නැගෙනහිර කියල වෙන්කරල කතා කරන්න එපා. එහෙම හිතනකම් බෙදිලා කියන හැඟීම එනවා.

 


● ආපහු එල්.ටී.ටී.ඊ.ය හිස ඔසවන්නේ නෑ කියලා ඔබට සහතික වෙන්න පුළුවන්ද?
ඒකට අපේ ජනතාව කවදාවත් ඉඩ දෙන්නෙ නෑ. අපිත් ඉඩ දෙන්නෙ නෑ ඒකට. අපි ත්‍රස්තවාදයට විරුද්ධයි. මම පැහැදිළිවම සහතික වෙනවා. ආපහු එල්.ටී.ටී.ඊයෙ නැගිටීමක් වෙන්නේ නෑ කියලා. මම හැම තිස්සෙම ඒක කියනවා.

 


● ඔබ අවුරුදු 37ක් තිස්සෙ දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. රටට යමක් කළා කියලා හිතනවද?
එක රට ඇතුළෙ හැම ජාතියකටම එකට සමඟියෙන් ඉන්න පුළුවන් පසුබිමක් හදන්න මම ගොඩක් උත්සාහ කරපු කෙනෙක්. මේ ගැන නොයෙක් අවස්ථාවලට මම සහභාගිවෙලා තියෙනවා. මම මේ ගැන නොයෙක් අවස්ථාවල අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. අපේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක්. රටට පළමුවෙන්ම දැන් ඕන ඒක. මම මේ අවුරුදු 37ක පාර්ලිමේන්තු කාලය තුළ රටට දෙයක් කළා කියලා මම හිතනවා. අපේ පක්ෂයෙත් මගෙත් බලාපොරොත්තුව කාටත් සංතෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්.

 

m

 

http://www.lankadeepa.lk/index.php/articles/408526

Login Form