Saturday, April 20, 2024
   
Text Size

මතුවූ අර්බුදයෙන් රට පසුපසට යනවා

User Rating: / 0
PoorBest 

මතුව ඇති අර්බුදය හේතුවෙන් රට පසුබෑමට පත්වන බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.
දේශපාලනික වශයෙන් බෙදීම මෙම නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග උන්වහන්සේ කීහ.
අද (7) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා එම පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැ දැක රටේ මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළහ. එහිදී මහානායක හිමියන් හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අතර දිගු වේලාවක් සාකච්ඡාව පැවැත්වුණි.
මෙවැනි සිද්ධි මෙරට ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරන බවත් ජාතික සමගිය ආරක්ෂා කරගැනීම සමස්ත ජනතාවගේ හා බලධාරීන්ගේ වගකීමක් යැයි උන්වහන්සේ කීහ.
මහානායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක උන්වහන්සේ සමගද සාකච්ඡා කළහ.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.
තිස් වසරක යුද්ධයෙන් බැට කෑ ජනතාව අද කිසිසේත්ම අරගලවලට කැමැති නැහැ. නමුත් යම් දේශපාලනික අවශ්‍යතාවක් මත තමයි ජාතිවාදය උත්සන්න වෙමින් පවතින්නේ. වර්ධනය වෙමින් පවතින ජාතිවාදය ඉතා ඉක්මනින් පරාජය කළ යුතුයි.
බලයේ සිටින කණ්ඩායම් බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ද බලය අහිමි වූ පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම වෙනුවෙන් මේ ජාතිවාදී ක්‍රියාවන් කරනවා. නමුත් ජාතිවාදය මේ සමස්ත ඉතිහාසය තුළදී ජනතාවට ලබා දුන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් නැහැ.
ඒ නිසා ජාතිවාදී, වර්ගවාදී ගැටුම් සඳහා කිසිදු උත්තේජනයක් ලබා නොදී සියලු ජනතාව සාමයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වීමට කටයුතු කළ යුතුයි. සිංහල ජනතාවට මෙන්ම දමිළ ජනතාවටද අද කොටියා එපාවෙලා. නමුත් කොටියා අහිමිවීම නිසා තැවුලට පත් ඇතැම් දේශපාලන නායකයන් අප වැනි පක්ෂවලට චෝදනා කරනවා හැර වෙනත් කාර්යයක් කරන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගයාන් ජානක හේරත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9742-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F

Login Form