භික්ෂූන් වහන්සේ මැතිවරණයකට තරඟ නොකළ යුතුය යන ස්ථාවරය තුළ සිටියත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත එය නැවත සලකා බලමින් සිටින බව බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසති.
උන් වහන්සේ ඒ බව කියා සිටියේ නයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා බොදු ජන පෙරමුණ නමින් පිහිටුවා ගත් නව දේශපාලන පක්ෂය ගැන බීබීසීයට පැහැදිලි කරමින්.
සිංහල බෞද්ධයන්ට අමතරව වෙනත් ආගමිකයන් හෝ වෙනත් ජාතීන්ට ද මෙම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවයි ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසන්නේ.
‘බුද්ධිමත් මිනිසුන්’
‘බොදු කියන වචනයෙන් අපි අදහස් කළේ ‘බුද්ධිමත් මිනිසුන්’ කියන එකයි. ඉතින් බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට බුද්ධිමත් මුස්ලිම් මිනිහෙකුට වුනත් අපේ අනන්‍යතාවන් පිළි අරගෙන ඕන කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ.’ උන් වහන්සේ පැවසුහ.
සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කලේ හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා නොවේදැයි බීබීසීය විමසු විට උන් වහන්සේ කියා සිටියේ කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගත නොවන අතර තම පක්ෂය ක්‍රියාත්මක වන්නේ ජාතික මට්ටමේ න්‍යායපත්‍රයක් මත බවයි.