කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දකිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රදේශවල අද (17) හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මෙම කලබලකාරී තත්වය මඩකලපු දිස්ත්‍රිකයට අයත් මුස්ලිම් ප්‍රදේශ වන කාතන්කුඩි,එරාවුර්, ඔද්දමාවද්දී හා වලිච්චේනෙයි යන ප්‍රදේශවල එදිනෙදා කටයුතු වලට බලපා තිබේ.
කඩ සාප්පු වසා දමයි
කඩ සාප්පු සහ වෙළෙඳ ආයතන වසා දමා තිබෙන අතර සති පොළ පවත්වා නැති බවයි පැවසෙන්නේ.
සිසුන් නොපැමිණීම හේතුවෙන් මෙම ප්‍රදේශවල පාසල් පැවැත්වෙන්නේ නැති අතර රජයේ කාර්යාල වල ද සාමාන්‍ය දින වල මෙන් නොව දෛනික කටයුතු වල මන්දගාමී ස්වරූපයක් දකින්නට තිබේ.
හර්තාලයට සහභාගී නොවන මෙන් එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල ශබ්දවාහිණී මගින් පොලිසිය ව්‍යාපාරිකයන් ට දන්වා සිටිය ද එය ඉල්ලීම නොතකා කඩ සාප්පු වසා දමා තිබේ.
'බොදු බල සේනා තහනම් කරන්න'
මුස්ලිම් ජනතාවට විරුද්ධ ප්‍රචණ්ඩත්වය හෙලා දැක,බොදුබල සේනා සංවිධානය තහනම් කළ යුතු බව ඉල්ලා කාතන්කුඩි මුස්ලිම් ජනතාව විසින් අද විරෝධතා පෙළපාලියක් ද පවත්වා තිබේ.
කාතන්කුඩි මෙත්ත පල්ලි දේවස්ථානය ඉදිරි පිට රැස් වුන දහස් ගණනක් වූ මුස්ලිම් වැසියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගොස් ජනාධිපතිවරයා වෙත යොමු කළ මේ සිදුවීම් සම්බන්ධ පෙත්සමක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දී තිබේ.
කාතන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා ජමඉයතුල් උලමා සභාව විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබේ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140617_madakalapu_muslim_protest.shtml