මීට වසර 24 කට පෙර මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම්හි දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර වල දමා ඇතැයි පැවසෙන මුස්ලිම් ජනයාගේ මිනී වළවල් බවට හඳුනා ගෙන ඇති ස්ථාන පිළිබඳ ව්‍යාකූල තත්වයක් මතු වී තිබේ.
එම තත්වය යටතේ එම ස්ථාන පරීක්ෂා කොට කැනීම් කටයුතු සම්බන්න්ධයෙන් තීරණයක් ගැනීමට කොළඹ සිට පැමිණ සිටි විශේෂඥයන් කණ්ඩායමක් කිසිදු තීරණයක් ගත නොහැකිව ආපසු ගිය බවයි වාර්තා වන්නේ.
1990 ජුලි 12 වැනිදා මඩකලපුව - කල්මුනේ මහා මාර්ගයේ වාහනවල ගමන් ගනිමින් සිටි මුස්ලිම් ජාතිකයන් 150 දෙනෙක් පමණ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද බව මුස්ලිම් ජාතිකයන්ගේ විශ්වාසයයි.
අධිකරණ නියෝගය
කලවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම මිනීවළවල් ලබන නොවැම්බර් මාසයේ 11 වැනි දින කැණීම කටයුතු සිදු කිරීමට නියමිත ව ඇති අතර ඊට පූර්ව පියවරක් වශයෙන්, අධිකරණ වෛද්‍ය විශේෂඥයන්,පුරා විද්‍යා විශේෂඥයන්,පස් පිළිබඳ විශේෂඥයන් ඇතුළු පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද, සෙනසුරාදා එම ස්ථානය පරීක්ෂා කළහ.
මිනී වළවල් සම්බන්ධ පැමිණිලි කරු වන මජීඩ් ඒ රවුෆ් එක් ස්ථානයක් හඳුනා ගත් අතර නැගෙනහිර පළාත් සභාවේ මංත්‍රීවරයකු විසින් තවත් ස්ථාන තුනක් හඳුනා ගනු ලැබුණි.
මේ අතර මෙම ප්‍රදේශයේ ස්වාභාවික හේතූන් අනුව මියගිය තම ඥාතීන් ගේ සිරුරු ද මිහිදන් කර ඇති බව පවසන ඇතැම් හින්දු ආගමික සංවිධාන කැණීම් කටයුතු වලදී හින්දු ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කර ඇති සිරුරු වලට හානි සිදු විය හැකි බව ප්‍රකාශ කරමින් එම භූමියේ කැණීම් වලට විරෝධය පළ කළහ.
හින්දු සහ සුනාමි සොහොන්
එම ස්ථානයට පැමිණි කුරුක්කල්මඩම් තරුණ හින්දු සභාවේ සභාපති එස්. සුදර්ශනන් සුනාමියේ දී මියගිය අයගේ මල සිරුරු නවයක් තමා එම ස්ථානයේ භූමදානය කළ බවයි විශේෂඥ කණ්ඩායමට දැනුම් දුන්නේ.
එම නව තත්වය සම්බන්ධයෙන් ජන මාධ්‍යවේදීන්ට කරුණු දැක්වූ විශේෂඥ කණ්ඩායමේ නායක අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මිනි වලවල් ඇති ස්ථාන පැහැදිලිව හඳුනා ගෙන ඇතැයි යන විශ්වාසයෙන් කැණීම් කටයුතු සැලසුම් කිරීමට පැමිණි නමුත් ඒ සම්බන්ධයෙන් මතභේද ඇති බැවින් අදාළ සැලසුම් සැකසීම දුෂ්කර බවයි කියා සිටියේ.
උද්ගතව ඇති තත්වය ගැන අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බව පැවසූ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ තීන්දුව ප්‍රකාර නිසි තැන් හඳුනා ගත් පසු සැලසුම් තීරණය කළ හැකි බවයි සඳහන් කළේ.
අධිකරණ නියෝගය මත කැණීම් කටයුතු සිදු කිරීමට නියමිත බැවින්, නව තත්වය අනුව ගත යුතු පියවර තීරණය කල යුත්තේ අධිකරණය බවත් එබැවින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසත් විශේෂඥ කණ්ඩායමේ නායක වෛද්‍ය අජිත් තෙන්නකෝන් පවසයි.