Tuesday, April 23, 2024
   
Text Size

2014 – 09 – 28 වැනි දින පවත්වන ලද බොදු බල සේනා සමුළුවේ දී දක්වන ලද අදහස් වලට එරෙහිව සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා සංගමයේ ප්ර කාශනය

User Rating: / 4
PoorBest 

Published on 30.09.2014 Hijiri date 04.12.1435 Reg. number ACJU/MS/003/2014

බොදු බල සේනා සංවිධානය මෙන් අන් දහම් අපහාස කිරීමෙහි හා වාර්ගික කොටස් අතරේ ඇති සුහදත්වයට හා සහජීවනයට තර්ජනයක් වූ තවත් සංවිධානයක් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ දැකිය නොහැකි තරම් ය. අවුරුදු 1500 ක ඉතිහාසයක් ඇති ලොව මිලියන 1620 කට වඩා වැඩි පිරිසක් විසින් හද බැඳි භක්තියකින් පිළිපදිනු ලබන සමානාත්මතාව, සහෝදරත්වය, මිනිසත්කම වැනි ශ්‍රේෂ්ඨ මානුෂීය ඉගැන්වීම් වලින් අලංකෘතවූ ඉස්ලාමීය දහම අපහාසයට, නිග්‍රහයට හා ගැරහීමට ලක් කරමින් කටයුතු කිරීම අතිශයින් වේදනා සහගතය.

පෙරදින, එනම් 2014 – 09 – 28 දින කොළඹ දී පවත්වනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහා සංඝ සමුළුවේ දී එහි නායක කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලැබූ  දේශනයේ කොටස් විවිධ මාධ්‍යය මගින් කියවන්නට ලැබිණි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවත් වූ මෙම සමුළුවේ දී භික්ෂුන් වහන්සේලා හා ගිහියන් ඉදිරියේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය පිළිබඳව උන්වහන්සේ විසින් සඳහන් කරන ලද වැරදි තොරතුරු දැඩි ලෙස හෙළා දකින්නෙමු. සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය මෑතක දී අරඹන ලද්දක් බවත් එය අන්තවාදී සංවිධානයක් ලෙසත් උන්වහන්සේ විසින් මෙහිදී සඳහන් කරමින් රැස්ව සිටි පිරිස නොමග යවා ඇත.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය යනු ලංකාවාසී මුස්ලිම් ජනයාගේ ආගමික මඟ පෙන්වීමේ කාර්යයෙහි වගකීම් දරන එකම මහා ආයතනයයි. මෙය කිසිම දේශපාලනික බැඳීයාවකින් තොර වූ සංගමයකි. මෙම සංගමය වර්ෂ 1924 දී අරඹනු ලැබ තම වගකීම් හා කාර්යභාරයන් අඛණ්ඩව හා නිසිලෙස ඉටුකරමින් සිටියි. මෙම සංවිධානයේ මඟ පෙන්වීම යටතේ මුස්ලිම් ප්‍රජාව තම ආගමික හා සමාජ කටයුතු සකස් කර කරමින් සිටිති.

පුර්ව ගැටුම් සමයේත්, ගැටුම් පැවති කාල වකවානුවේත්, පශ්චාත් ගැටුම් සමයේත් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය විසින් අපගේ මාතෘභූමියට ලබා දුන් දායකත්වය සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. සාමයික සහජීවනය, ඉවසීම හා එකමුතුභාවය නිරතුරුව අවධාරණය කරමින් කටයුතු කරන මෙම වගකීම් සහිත සංවිධානය අන්තවාදී සංවිධානයක් ලෙස ආගමික නායකයෙකු විසින් සඳහන් කිරීම අති මහත් වරදකි.

මෙම රටට ආරක්ෂක අංශයක් හා බුද්ධි අංශයක් ඇත. මෙම උසස් අංශ සියල්ල මෙරට මුස්ලිම් ප්‍රජාව අතරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නොමැති බවට නිවේදනයන් නිකුත් කරමින් සිටින අවස්ථාවක සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය අන්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වීම සැබැවින්ම හාස්‍යජනක කරුණක් ලෙස දකින්නෙමු.

උද්වේගය ජනනය කිරීම අරමුණු කොට ගෙන රැස් කරන ලද මෙම සමුළුවේ ජාතිවාදී අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළ කොට සිටින්නෙමු.

ජම්ඉයියතුල් උලමා සංගමය කිසිදිනක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඇති කිරීමට හෝ එවැන්නකට ආධාර කිරීමට කටයුතු කර ඇති බවට කිරම විමලජෝති ස්වාමින්ද්‍රයන්ට ඔප්පු කර පෙන්විය හැකි දැයි අසන්නට කැමැත්තෙමු. සාපරාධී ලෙස මුස්ලිම් ප්‍රජාවට පහරදී කඩ සාප්පු ගිනිබත් කළ අවස්ථාවේදීත් එම ප්‍රජාවට ඉවසීමෙන් හා වගකීමෙන් යුක්තව කටයුතු කරන්නට දිරි ගන්වා කටයුතු කළේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය බව ප්‍රතික්ෂේප කරන්නට හැක්කේ කා හටදැ’යි අසන්නට කැමැත්තෙමු. තවද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය නිරතුරුව සාමය, සමාදානය හා සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන සංගමයක් බව අවධාරණය කරන්නට කැමැත්තෙමු.

මුස්ලිම් ප්‍රජාවගේ එකම මහා ආගමික සංවිධානය වූ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය අන්තවාදී සංවිධානයක් ලෙස හුවා දැක්වීමට මෙම භික්ෂුන් වහන්සේට ඇති අයිතිය කුමක්දැ’යි ප්‍රශ්න කරන්නට කැමැත්තෙමු. මෙවන් අභුත අදහස් දැක්වීම් මගින් මුස්ලිම් ජනයාව උද්වේගයට පත් කොට නාටකයක් නරඹන්නට මෙම භික්ෂුන් වහන්සේ අපේක්ෂා කරන බව පෙනෙන්නට ඇත. මෙයට පෙර කිහිප විටකදීම මෙම භික්ෂුන් වහන්සේ සහ උන්වහන්සේගේ සංවිධානයට අයත් පිරිස විසින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය කොනිත්තා බලන්නට කටයුතු කොට ඇත. එම අවස්ථාවන් හි දී මෙවන් කටයුතු අත්හැර දමන ලෙස ඉල්ලා සිටියෙමු. මෙම භික්ෂුන් වහන්සේගේ ක්‍රියාව ඉතා පහත් එකක් වන අතර දැඩි ලෙස පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළයුත්තක් ව ඇත. උන්වහන්සේ තමන් වහන්සේගේ මතය හා ක්‍රියා පිළිවෙත වෙනස් කර ගත යුතුව ඇත. එලෙසම තමන් වහන්සේ විසින් ප්‍රකාශිත සාවද්‍ය අදහස් ඉල්ලා අස්කර ගත යුතුයැ’යි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලා සිටී.

එලෙසම සමාජ සත්ක්‍රියාවන් හි නියැලී සිටින මුස්ලිම් කවුන්සිලය හා ෂුරා කවුන්සිලය වැනි සංවිධාන ද අන්තවාදී සංවිධාන ලෙස හුවා දැක්වීමට මෙම සමුළුවේදී කටයුතු කිරීම සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය දැඩි ලෙස හෙළා දකින්නේය. මෙම සමුළුවේදී ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නොදැනුවත්කම ආභරණයක් කර ගනිමින්, අන්ධයින් සිවු දෙනා අලියා විග්‍රහ කළ පරිදි  අල් කුර්ආනය සහ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශනයන් පිළිබඳව වැරදි අර්ථ නිරූපනයක් ඉදිරිපත් කරමින් මුස්ලිම් හා මුස්ලිම් නොවන සමාජයන් අතර විශාල භේදයක් ඇති කිරීමට දරන ලද බොළඳ උත්සාහය දැඩි ලෙස හෙළා දකින අතර මේ පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීමක් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු. මෙම සමුළුවේදී ඉදිරිපත් කරන ලද අනෙකුත් බොහෝ කරුණු ද අතිශයින් සංවේග ජනගය. සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය මෙම කරුණු පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටී.

එහෙයින් මෙලෙස දහම් අපහාසයට ලක්කරන්නන්ගේ ක්‍රියා වහාම නතර කිරීමට කටයුතු කළයුතු බව ද මේ පිළිබඳව අති ගරු ජනාධිපතිතුමන්ගේ සහ ගෞරවනීය මහා සංඝරත්නයේ අවධානය වහාම යොමුවිය යුතු බව ද ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේය.

ඉස්සා හිස මත අසුචි තබාගෙන මං සුදනායැ’යි පවසන්නාක් මෙන් අන්තවාදීන් තමන්ගේ අන්තවාදය හිස මත තබා ගනිමින් අන් අයට ඇඟිල්ල දිගු කිරීම ලෝක ස්වභාවයක් බවට පත්ව ඇත. මෙම සමුළුවේ දී ප්‍රකාශිත අදහස් බොහොමයක් අප රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස ද අපි දකින්නෙමු. අධිපතිවාදී ෆැසිස්ට් මතවාදය කිසිදු දහමක් අනුමත කරන්නක් නොවේ. සියලු වාර්ගිකයින්ගේ හා ආගමිකයින්ගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති අතර එය උල්ලංඝනය කිරීමට අධිපතිවාදී ෆැසිස්ට් මතයන් ඉදිරිපත් කිරීම බරපතල නීති ප්‍රශ්නයන් මතු කොට ඇත.  මෙවන් අධිපතිවාදී ෆැසිස්ට් මතවාදයන් ප්‍රතික්ෂේප කොට සැමට සාමයෙන් හා සුහදත්වයෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගීමට අති ගෞරවනීය මහා සංඝරත්නය හා අති මහත් බහුතරයක් වූ මධ්‍යස්ත මතදාරී සිංහල ප්‍රජාව ඇතුළු මාතෘභූමියේ සැවොම එකට අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

අෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක්

මාධ්‍ය ලේකම්

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය

Login Form