Tuesday, 17 June 2014 17:58
රජය නිහඩව සිටියේ ඇයිදැයි රනිල් අහයි
බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.
‘ අලුත්ගම වෙළෙඳසලකට පහර දීමේ සිද්ධියක් හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අලුත්ගම රැස්වීමට කළින් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වන සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානි ද සිදුවී ඇති බවයි අපට දැනගන්නට තිබෙන්නේ.‘
ජුනි 15 වැනි දා අලුත්ගම දී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ බවත්, එම රැස්වීමට පිට ප්‍රදේශවල සිට බස්වලින් සෙනඟ රැගෙන ගොස් ඇති බවත්, රැස්වීමේ කතා මගින් ජාතිවාදය අවුලුවා අනතුරුව පෙළපාළියක් ලෙස මුස්ලිම් ජනතාව ජීවත් වන ධර්ගා නගරය ඔස්සේ ගමන් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘ප්‍රදේශයේ සංඝරත්නය රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය පළාතේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.‘
‘එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජන පීඩා වන්නේයැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.‘
‘ගැටුම් පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ කවර හේතු නිසා දැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් දැන ගැනීමට කැමතියි.‘
http://www.lankadeepa.lk/index.php/articles/242870
Tuesday, 17 June 2014 17:57
බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.
http://www.lankadeepa.lk/index.php/articles/242856