යොමු අංකය : ACJU/NGS/2021/210
2021 සැප්තැම්බර් මස 22 වෙනිදා
මෑතකදී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රාජකීය පණ්ඩිත ඥානසාර හිමියන් විසින් සිදුකරනු ලැබූ ආගමික අපහාසය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කොට ඇති මාධ්‍යය නිවේදනය පිළිබඳව අප ඉමහත් විමතියට පත්ව ඇත්තෙමු. එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සැබැවින්ම බරපතළ ආගමික අපහාසයක් ඉදිරිපත් කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ ”මහමොළකරු අල්ලාහ්” යැයි පැවසීමෙනි.
මෙම ප්‍රකාශය ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් හට පමණක් කරනු ලැබූ අවමානයක් නොව සකල ලෝ වාසී බිලියන දෙකකට ආසන්න මුස්ලිම් ජනයාට කරනු ලැබූ අවමානයක් යැයි අප අවධාරණය කරමු. පසුව මෙම බරපතළ අපහාසය පිළිබඳ කිසිඳු සඳහනක් නොමැතිව අල්-කුර්ආනයේ 8:30 වැකිය උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කිරීම සැබැවින්ම අර්ථ විරහිතය.
ඉහත බරපතළ ප්‍රකාශය කිරීම සඳහා එම භික්ෂුව යොදා ගෙන ඇත්තේ සිංහල බසට හැරවු ඍජු පරිවර්තන පිටපතකි. එම පිටපතේ ඇති මතුපිට අරුත බලා විවරණ සැපයීම අහසට ඉණිමං බැඳීමක් වැනිය. එතුමා උපුටාගත් අල්-කුර්ආන් පාඨය සඳහා සපයා ඇති පාද සටහන (විවරණ සටහන) කියවා තිබුණානම් එය විමසුම් ඇසින් බැලුවානම් මෙවන් ගැටලු සහගත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්නේම නැත.
හෙළ සාහිත්‍යයේ කෘතියකට අටුවා, ටීකා, විවරණ කෘති මතුවන්නේද එම මුල් කෘතියේ අරුත හුදී ජනන් සඳහා නොවැටහෙන නිසාය. ”වංසත්ථප්පකාසිනිය" එසේ මහාවංසයට ලියවුණු විවරණ කෘතියකි.
යම් බසක පාණ්ඩිත්ව්‍යක් නොලබා එම බස භාෂණය සඳහා යොදා ගත හැකි වුවද ශාස්ත්‍රීය කටයුතු වලට යොදා ගැනීම දැලි පිහියෙන් කිරි කෑමකි. "න, ණ, ල, ළ” භේදය, උක්ත අනුක්ත භේදය, පුරුෂ භේදය, ශබ්ද ප්‍රකෘති, ධාතු ප්‍රකෘති, තත්සම, තද්බව, නිෂ්පන්න වැනි වියරණ කටයුතු නොදැන සිංහල බසේ ශාස්ත්‍රීය පැතිකඩ කෙසේ වෙතත් ශිෂ්‍යත්වය විභාගය සමත්වීමද උගහට කරුණකි.
තමාගේ මාතෘ බසේ කරුණු පිළිබඳව මෙසේ සීමා මායිම් ඇති විට වෙනත් බසක සාහිත්‍යමය කරුණක්, වියරණ කරුණක් හුදෙක් පරිවර්තනයක් බලා කිව හැකිද? එම බසටම ආවේණික පද රටා, වැකි රටා පිළිබඳව අවබෝධයක් සමග එම බස පිළිබඳව මනා පරිචයක් ලැබීම පළමුව කළ යුතු කරුණකි.
සිංහල සංදේශ කාව්‍යයක කවියක අරුත ලිහිල් බසින් විවරණයට පෙර මෙම කාව්‍ය කුමක්ද? කවියා කවුද? කවියාගේ අරමුණ කුමක්ද? මෙම කවියට පෙර කවිය කුමක්ද? එම කවිය හා මෙම කවියේ සම්බන්ධය කුමක්ද? යන්න සොයා අරුත්බර විචාරයක් ලිවීමට පාසල් ළමෝ පවා දනිති.
අල්ලාහ් දෙවියන් විසින් පහළ කළාවූ ශුද්ධ වූ අල්-කුර්ආන් වැකිවල අරුත ප්‍රකාශ කිරීමට පෙර මෙම වැකිය හා සම්බන්ධ පරිසරය පිළිබඳ අවබෝධයකින් තොරව අදහස් විකෘති කර විනාශකාරී ප්‍රකාශ කිරීම තුළින් නොසැලකිලිමත් බව මනාව තීව්‍ර වේ.
وَإِذ يَمكُرُ بِكَ الَّذينَ كَفَروا لِيُثبِتوكَ أَو يَقتُلوكَ أَو يُخرِجوكَ ۚ وَيَمكُرونَ وَيَمكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيرُ الماكِرينَ﴿۳۰﴾
"(නබිවරය,) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවු.) ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” (මූලාශ්‍රය: අල්-කුර්ආන් 8:30)
මෙම අල්-කුර්ආන් වාක්‍යයෙන් පෙන්නුම් කරනුයේ මක්කාවාසී ප්‍රතික්ෂේපකයින්ගේ එක් සභාවක් පිළිබඳවය. එම සභාවෙහි සිටි ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමා දේශාන්තරණය කිරීමෙන් හා එතුමාගේ පණිවිඩය වැඩි දුර ප්‍රරචාරය කිරීමෙන් වැළැක්වීමට සාකච්ඡා කළෝය. ඔවුන්ගෙන් ඇතැමුන් නබි මුහම්මද් තුමාව අත්අඩංගුවට ගෙන මරණය තෙක් නිවසක රඳවා තැබිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. තවත් සමහරුන් එතුමාව උපන් නගරයෙන් පිටුවහල් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. නමුත් මෙම යෝජනා දෙක එම සභාවේ බහුතරය මගින් ප්‍රතික්ෂේප කරන ලදී. අවසානයේ දී විවිධ ගෝත්‍රයන්ගෙන් සෑදුණු තරුණ කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් එතුමාව ඝාතනය කළ යුතු යැයි තීන්දු විය. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන ලදී. එම තරුණ කණ්ඩායම ඔවුන්ගේ එම අයහපත් කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට එතුමාගේ නිවස වට කළෝය. නමුත් අල්ලාහ් නබි මුහම්මද් තුමාව විස්මිත අයුරින් ආරක්ෂා කර කිසිඳු හානියකින් තොරව එතුමාගේ නිවසින් පිට කිරීම මගින් ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්‍රභ කළේය. එවිට එතුමා මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කිරීමට හැකියාව ලැබුවේය.
මෙම වැකිය පහළ කරන ලද්දේ මක්කාවාසී ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ කළ පසුබිමකයි. නමුත් අල්ලාහ්, නබි මුහම්මද් තුමාව විශ්මිත අයුරින් ආරක්ෂා කර ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්‍රභ කළේය යන කරුණ පැහැදිළි කිරීම මෙම අල්-කුර්ආන් වැකියේ අරමුණයි. එමෙන්ම නබි ඊසා තුමා නොහොත් ජේසු තුමන්ව සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට අදාළ විෂයේද මේ අයුරින්ම සඳහනක් ඇත (අල්-කුර්ආන් 3:54)
මක්කාවාසි ප්‍රතික්ෂේපකයින් යනු එවකට අරාබිකරයේ සිටි කූටෝපායවත් පිරිසකි. එම පිරිසගේ උපාය පරාජය කිරීමට කටයුතු කිරීම සැළසුම් සහගත ක්‍රියාවක් නොවේද?
සකළ දඹදිව උපායවත් චුලනි බ්‍රහ්මදත්තයන්ගේ කේවට්ට බමුණාගේ උපායන් හිරු දුටු පිනිබිඳු මෙන් නැතිව ගියේ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ උපායශීලී බව නිසාය.
මෙම අල්-කුර්ආන් පාඨය පහළ කළේ කුමන කරුණක් සඳහාද? කා හටද? පහළ කිරීමේ පරිසරය පිළිබඳව අවබෝධයකින් තොරව තමා නොදන්නා බසකින් ලියා ඇති ආගමික වැකියකට මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
එම නිසා යම් කරුණක් පිළිබඳව වැදගත් ප්‍රකාශයක් කිරීමට පෙර
1. එම කරුණ ලබා ගත්තේ කුමන බසකින් ද?
2. එම බසේ ස්වභාවය කෙසේද?
3. එම බසේ වියරණ අපේ හෙළ බසේ වියරණ රීති අතර සමාන අසමානකම්
4. බස නොදන්නවානම් එය හොඳින් දන්නා උගතෙකුගෙන් විමසා බැලීම
5. පරිවර්තනයක් පරිශීලනය කරනවානම් එහි පාද සටහන් විමසීම
ආදී කරුණු වෙත ආගමික නායකයෙකු වශයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු නොවන්නේද? විශේෂයෙන් තමා නොදත් වෙනත් ආගමක ගැඹුරු කරුණක් ප්‍රකාශ කිරීමට පෙර සිහි බුද්ධියෙන් විමසා බැලීම වැනි කරුණු පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය.
ස්තූතියි,
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
https://acju.lk/si/news-si/acju-news-si/item/2294-regarding-bbs-statement?fbclid=IwAR1olY_hLMbXlU-kXj84dMTUUHwAZjuI3Te6vNM-ZpxwRqOhjykt97UG2ek